මට විසි එකයි තමයි. තමුන් කිව්වා වගේ ඇටකිරි කෙල්ලෙක් තමයි. හැබැයි මං මේ වලව්ව හොල්ලලාම තමයි නවතින්නෙ “

දූන්‍යා මේ මොහොතේ සපථ කරගත්තේ තම සිතටමය. යුවතියට නින්දගියේ කොයි මොහොතේදැයි දන්නේ නැත. ඒත් අවදිවෙද්දී ජාන්‍ය ඇඳේ නොව කාමරයේ වූ කවිච්චියේ සුව නින්දකය. පසෙක වැටී ඇත්තේ ඔහුගේ දුරකතනයය.

තවමත් රැයේ ගත් ඇමතුම විසන්ධි වී නැත. එහාපස අඩ නිරුවතින් නිදනා යුවතියකගේ රුවය. එය අතට ගෙන බැලූ යුවතී දෙතොලට නගාගත්තේ මද සිනහවකි.

” ස්තුතියි ජාන්‍ය, මේ වලව්ව පත්තු කරන්න වෙඩිබේත් නූල ඔයාම දුන්නට “

යළිත් ඇඳට පැනපු දූන්‍යා නිදාගත්තේ හිසේ සිට පොරවාගෙනය. ජාන්‍ය අවදිවුනේ කිසිවෙකු දොරට තට්ටුකරනා හඬටය. වහා දුරකතනය විසන්ධිකල ඔහු කොට්ටයත් බෙඩ්ෂීට් එකත් දැම්මේ ඇඳටය.

අනතුරුව දෙනෙත පිසිමින් ගිහින් කලේ දොර ඇරීමය. දොරකඩ නාලිකාත් මිලීනා හා රෙදි නැන්දාත් ය. ජාන්‍ය හැරී බැලුවේ ඇඳ දෙසය. ඔය සොයන්නට එන පිරුවටය තවමත් ඈ ගතට යටවූ ගමන් ය.

” මනමාලි නිදිද බන්ඩාර නිළමේ “

අඩියට දෙකට දූන්‍යා අසළට ආ ජාන්‍ය යුවතියගේ ගතට අත තිබ්බේ චකිතයෙනි. ඈ ප්‍රතිචාර කුමක්වේදැයි දන්නේ නැත. දෙනෙත් ඇරි ඇයට මුලින්ම සිටිනා තැන ගැන වැටහීමක් වූයේ නැත. දෑස් පිසදා බලද්දී දුටුවේ තම මුහුණට එබී සිටිනා ජාන්‍යගේ රුවය.

” මොකෝ…”

” නැන්දලා ඇවිත් “

” ඉතින්…..”

” නැගිටපන් ගෑණියේ “

” මේහ්….මං ඔහේගෙ ගෑණි නෙමෙයි හරිද “

සුටු සුටු හඬින් ජාන්‍යට කියාදැමූ යුවතිය පැමිණි කිසිවෙකු දෙස බලන්නේ නැතුවම නාන කාමරයට විය.

නාලිකාගේ මිලීනාගේ කෝපයෙන් කළුවුන මුහුණු දකිද්දී ජාන්‍යට දැණුනේ කුරිරු සතුටකි. අම්මා කෙසේ වෙතත් නැන්දනිය හා අත්තම්මා අනිවාර්යයෙන් ඇයව අද ආපසු යවනවා ඇත. දෙදෙනාම බැලුවේ ජාන්‍ය දෙසය. ඔහු හිස කසමින් දෙනෙත් වෙනතක තැබුවා විනා ඔවුන් දෙස බැලුවේ නැත.

” පුතා…”

” දන්නෙ නෑ නැන්දා “

” අහලා බැලුවෙ නැද්ද “

” මොකුත් කිව්වෙ නෑ “

ඉතින් දෙදෙනා දූන්‍යා එනතෙක් කාමරයේ රැඳුනේ නැත. මේ වලව්වේ නීතිය අනුව ගෙනෙනා යුවතිය කන්‍යාවක විය යුතුය. වලව්ව පුරා තැන තැන කසුකුසුය.

කාශ්‍යප කල්පනා කලේය. ඇය හා නැතිවෙන්නේ අර කෝටි ගනනක් වටිනා දේපොළය. දැන් මේ නින්දාවට ජාලියගෙන් කෝටි ගානක වන්දියක් ඉල්ලිය යුතුය. අඩුමතරමේ අර නුවර නගර මධ්‍යයේ වන ගොඩනැගිල්ලවත් ගතයුතුය.

සියල්ලට පිඹුරුපත් සැකසිණි. මේ කිසිවක් නොදත් යුවතිය නාන කාමරයෙන් එද්දීම ජාන්‍ය එයට රිංගාගත්තේ හදිස්සියෙනි. හවස කිරි එක වෙනුවට දැන් ප්ලේන්ටියකි. ජාන්‍ය වෙනුවෙන් නම් කිරි එකක් ඇවිදින් ය.

” මොන මගුල් වලව්වක්ද මන්දා මේක “

තේ එක අතට ගත්තාට කටේ තියන්නට බැරිය. සීනි කළදක් දැක නැති තේ කෝප්පයට රන් කහට ෆැක්ට්‍රි එකම හලා ඇති හැඩය. නිහඬවම තේ එක පසෙකින් තැබූ ඈ ඇඳට වුනේ දුරකතනය අරගෙනය. කරන්නට බොහෝ දේය.

උදෙන්ම මුහුණු පොතට ගිය ඈ එහි වූ සුබ පැතුම් බැලුවේ සිනහවෙමිනි. මිතුරියන්ගේ කවට වදන් සිනහාවෙමින් කියවූ ඈ යළිත් දුරකතනය ක්‍රියාවිරහිතකර බෑගයට දැම්මාය.

උදේ කෑමට කාමරයට ලැබුනේ පාන් ය. දූන්‍යා බැලුවේ ජාන්‍ය දෙසය. ඔහු නිහඬවම දුරකතනයේය.

” ඔය ගෙනත් තියෙන්නෙ තමුසෙට “

” ඇයි වලව්වට හිඟන්නා පාත්වෙලාද සම්බෝලයි පානුයි “

” කටවහගෙන කාලා ලෑස්තිවෙනවා “

ජාන්‍ය දූන්‍යා ඉදිරියට දැමුවේ පෙර දවසක ගෙනා රන් නූළෙන් වැඩදැමූ සාරිය නොවේ. සුදට හුරු ලා පැහැති සාරියකි. යුවතිය සාරිය දෙස බලා දෙනෙත් ගෙනගියේ ජාන්‍ය දෙසය.

” මං දන්නෙ නෑ. ඕක ඇඳගන්න දෙන්න කිව්වෙ “

සම්බෝලත් සමග පාන් පෙත්තක් කෑ යුවතිය සාරිය ගෙන ඇඳගත්තේ ඔසරියක් නොවේ. සාරියකි.

” තමුසෙ ඔය මොකක්ද ඇන්දේ “

” මං දන්න එක ඇන්දෙ. ඇයි “

එවර හිස ගස්සමින් එළියට ගිය ජාන්‍ය යළි කාමරයට ආවේ කාන්තාවන් දෙදෙනෙකු සමගය